Pages

Saturday 28 October 2017

කරපු පවක් හින්දා මගේ කසාදේ කල්යනවා - සුරාජ්.

සුරාජ්... කියමුකො මුලින්ම බලන්න මේ දවස්වල මොනවද කරන වැඩ?මේ දවස්වල මගේ ටෙලිනාට්‍ය හතරක්ම විකාශනය වෙනවා. ලෝකාන්තරය, චුට්ටේ,පිනි සහ හාරකෝටිය කියන ටෙලිනාට්‍ය තමයි ඒ. ඉතින් ඒවාවල රූගත කිරීම්වලට සතියෙ දවස් පහ වෙන් වෙනවා. ඉතිරි දවස් දෙකේ මගේ නර්තන කටයුතුවලට නර්තන පන්තිවලට වගේම මගේ ඉගෙනුම් කටයුතුවලට කාලය යොදවලා තියෙනවා.
මොනවද සුරාජ් ඉගෙන ගන්නෙ? මම කුලසිරි බුදවත්ත සර් යටතේ උඩරට නර්තනය හදාරනවා. ඊට අමතරව මම ප්‍රේමදාස පදනමේ ගයාත්‍රි කේමදාසයන් යටතේ හඬ පාලනය පිළිබඳව ඉගෙන ගන්නවා. ඒ පන්තිය තියෙන්නෙ සෙනසුරාදා උදේ. මම ඒ පන්තියට යන්නෙ සින්දු කියන්න ඕනකමකට නෙමෙයි. මට ඕනෙ මගේ හඬ එක එක පරාසයන් කරා යොදවන්න. සමහර චරිතවලදී මගේ හඬ ලොකු දුර්වලකමක් විදිහට මම දැක්කා. ඒක හදාගන්න මට ඕනෙ.
සුරාජ් නර්තන ගුරැවරයෙක්.. එහෙම නේද? ඔව්.. මම සෙනසුරාදා මහරගම කුලසිරි බුදවත්ත රංගායතනයේ ලතින් අමෙරිකන් නර්තනය උගන්වනවා. ඊටපස්සෙ මම සෙනසුරාදා හවස බත්තරමුල්ලෙත් ඉරිදා නුවරත් පන්ති පවත්වනවා. ඔහොම තමයි මගේ කාලය ගතවෙන්නෙ.
ඒ කියන්නෙ සුරාජ් දවස් හතේම වැඩ.. ටිකක් කාර්යබහුලයි? ඔව්.. ඒක ඇත්ත. විවේකය අවශ්‍යයි. විවේකයට ආසයි. ඒත්.. මේ වැඩ එකිනෙකට වෙනස් නිසා මේ යන විදිහට මම ආසයි. අපිට තියෙන්නෙ ටික කාලයයිනෙ.. ඒ ටික කාලෙදි මේ ජීවිතේ සිද්ධවෙන විදිහට සිද්ධවෙන්න ඕනෙ. විවේක අරගෙන පැත්තකට වෙලා ඉන්න දැන් අපිට කාලයක් නෑ. ජීවන රටාව අනුව ජීවත් වෙන්න සල්ලි ඕනෙ. ඉතින් හැමවෙලේම අපි බලන්නෙ රුපියලක් දෙකක් හරි සොයාගන්න. ඒක තමයි හැම මනුස්සයාගෙම ඇත්ත. ඉතින් අපි නිකන් ඉන්න එක අපරාදෙ. මම එහෙම පොදිගහගන්න කැමති නැති මනුස්සයෙක්. මම හම්බකරන එක හොඳට අත දිගහැරලා වියදම් කරලා හොඳට කාලා බීලා සතුටුවෙලා හිතේ සතුටින් ජීවත් වෙනවා.
ඉතුරු කරන්නෙ එහෙම නැද්ද..? පොඩ්ඩක් ඉතුරු කරනවා. ඒකත් කරන්නෙ ගෙදරට ඕන නිසයි. අම්මයි අක්කලයි කෑගහනවා සල්ලි එකතු කරන්න, කවදාහරි දවසක ඕනවෙනවා කියලා. ඉතින් ඒ අය කියන නිසා මෑතක ඉඳන් මම පොඩ්ඩක් එකතු කරන්නත් ගත්තා. හැබැයි එහෙමයි කියලා ලොකුවට පොදිගහගන්න මනුස්සයෙක් නෙමේ මම.
ජීවිතේ ලැබුණු වටිනාම දේ මොකක්ද..? මගේ ජීවිතේ ලැබුණු වටිනාම දේ තමයි මගේ පවුල, මගේ අම්මා සහ මගේ අක්කලා දෙන්නා. ඊට අමතරව මට ලැබුණු ලොකුම වටිනාම දේ තමයි මනුෂ්‍යත්වය. මනුස්සයෙක් හැටියට ජීවත්වෙන්න ලැබීමත් ලොකු වටිනාකමක්. මම අද මේ ඉන්න තත්ත්වය ගැන මට සතුටුයි.
ඔය තැනට එන්න දුක් වින්දද..? ඔව්.. ජීවිතේ හැමවෙලේම දුක තමයි. අපිට ලබාගන්න ඕන දේවල් ලබාගන්න පුළුවන් වෙන්නෙ දුක් වින්දොත් තමයි. කිසිම දෙයක් අපේ අතට ගෙනත් දෙන්නෙ නැහැනෙ. වාසනාවෙන් ලැබෙන දේවල් තියෙනවා. නමුත් ඒවා තියාගන්න අපි මහන්සි වෙන්න ඕනෙ. ඒකට අපි දුක් විඳින්නම ඕනෙ. හැමෝම ජීවිතේ ගෙවන්නෙ ලොකු කට්ටක් කාලා තමයි. මහන්සි වන ප්‍රමාණය අනුව තමයි ඒවායෙ වටිනාකම ලැබෙන්නෙ.
අද වෙනකොට සුරාජ් පෙම්වතෙක්නෙ. කවදද සුරාජ් විවාහ වෙන්නෙ..? මගේ ජීවිතේ බලාපොරොත්තු කියලා දේවල් නෑ. මම කවදද බඳින්නෙ කියලා මම දන්නෙ නෑ. ඇත්ත.. මම පෙම්වතෙක්. අද වෙනකන් අපි කොහොමහරි ජීවත් වුණානෙ. හැබැයි මගේ ජීවිතේ එහෙම කිසිම ප්ලෑන් එකක් නෑ. මම අද වෙනකන් සතුටින් ජීවත් වුණා. ලැබෙන විදිහට හැමදේම සතුටින් බාරගත්තා. මම ජීවිතේම ඕන විදිහට අතහැරලා දාලා තියෙන්නෙ. එහෙමයි කියලා මට මගේ ජීවිතේ නැතිවෙන්නෙ නෑ කියලත් මම දන්නවා. කරපු මොකක් හරි වැරැද්දකට මගේ විවාහය මෙච්චර කල් පමාවෙන්නත් ඇති. සමහරවිට ඒ පමාව හොඳකට වෙන්නත් ඇති. ජීවිතේ හුඟාක් අත්දැකීම් ලබන්න පුළුවන් කාලයක් තමයි මේ.
සුරාජ්ගෙ ඔය ප්‍රථම ප්‍රේමය නෙවෙයිනෙ.. ඇයට ආදරය කරන්න ඇගේ තිබුණු සුවිශේෂීකම මොකක්ද..? ඇය මට ආදරෙයිද ඇය මාව විවාහ කරගනියිද කියලා මම දන්නෙ නෑ. මම බඳින්න ඕනෙ නිසා මාව බඳින්න කියන එක හරි අසාධාරණයි. ඇත්ත.. මම පෙම්වතෙක්. මට ආදරවන්තියක් ඉන්නවා. හැබැයි ඇය තීරණය කරාවි මාව බඳින්න ඕනෙ වෙලාව මොකක්ද කියලා. ඇය මාව බඳින්නෙ නැත්නම් දවසක ඇය මාව අතහැරලා යාවි. මම හැමවෙලේම බලාපොරොත්තු වුණේ බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම සම්ප්‍රදායික ගැහැනු ළමයෙක් මම බලාපොරොත්තු වුණේ නෑ. සමහර වෙලාවට රණ්ඩු වෙනවා. සමහර වෙලාවට බැණගන්නවා. සමහර වෙලාවට ආයෙත් යාළුවෙනවා. එයා ළඟ බොරු සෝබන නෑ. හැබැයි මම දන්නෙ නෑ, එයා අනාගතේ මගේ බිරිය වේවිද කියලා. හැබැයි අදට අපි දෙන්නා හරි ආදරණීයයි. මම එයාට ගොඩක් ආදරේ කරනවා.
කාලයක් සුරාජ් නිෂ්පාදනයටත් අතගැහුවා... දැන් නෑ. මොකද ඒ...? ඇත්ත මම ටෙලිනාට්‍ය තුනක් විතර නිෂ්පාදනය කළා. අපි හොඳ නිර්මාණ එකදිගට කළා. ඒත් දැන් යන රැල්ලත් එක්ක හොඳ නිර්මාණ නිෂ්පාදනය කරන්න අමාරැයි. අපි කොච්චර මහන්සිවෙලා හොඳ නිර්මාණ කළත් පිටරට ටෙලිනාට්‍ය ගෙනල්ලා පෙන්වද්දි ඒකට කිසිම වටිනාකමක් දෙන්නෙ නෑ. ඉතින් මේ දේවලුත් එක්ක පොඩි කලකිරීමක් හිතේ තියෙනවා. ඒත්.. නිෂ්පාදනය කරන්න ආසයි. ඉදිරියේදි හොඳ නිර්මාණයක් කරන්න හිතාගෙන ඉන්නවා.

0 comments:

Post a Comment