Pages

Thursday, 1 November 2018

හිරුණිකා රග පෑ උදුම්බරා සිනමා පටය ළගදීම තිරගත වේ

මේ අවස්ථාව මටනම් ලැබුණේ අහම්බෙන් වගේ. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වුණු කේ.එස්. චමන්ත් රාජ් තමා මේ චිත්‍රපටය සදහා මාව සම්බන්ධ කරගන්න ඕනේ කියලා

තිබුණේ. ඉතින් දවසක් මම රැළියකට සහභාගී වෙලා ඉඳිද්දී මෙහි නිෂ්පාදක කළමනාකරු වුණු සුරේන් චන්ද්‍ර මාව මුණගැහෙන්න ආවා. ඒ වෙලාව්දී “මැඩම් අපි හරි ආසාවෙන් ඉන්නේ ඔයාව ෆිල්ම් එකකට ගන්න. කියලා කිව්වා. හැබැයි ඉතින් ඒ වගේ දේවල් මට නිතරම ඔය එක එක්කෙනා කියන නිසා මාත් ඒක එච්චර හිතන්නේ නැතිව “ආ... හරි... හරි... මට කතා කරන්නකෝ... කියලා කිව්වා.
ඒ කියන්නේ ඒ වෙනකොටත් හිරුණිකාට බොහෝ නිර්මාණවලට ආරාධනා ලැබිලද තිබුණේ...? ඔව්... ආරාධනා කිහිපයක්ම ඒ කාලය තුළදී ලැබිලයි තිබුණේ. ඉතින් මම හිතුවේ මේකත් ඒවගේ දෙයක් වෙයි කියලා. ඒ නිසා ඒක මට අමතක වුණා. දවසක් සුරේන් මාව ආයෙමත් හොයාගෙන ඇවිත් මේ ෆිල්ම් එක ගැන කිව්වා. මම කරන දේශපාලන වැඩක් එක්ක මට පෙම්වතියකගේ චරිත, එහෙමත් නැත්නම් ඔය ටිකක් සීනි බෝල චරිත මට කරන්න අමාරුයි කියලා මම කියද්දී සුරේන් තමයි කිව්වේ මේක එහෙම කතාවක් නොවේ.
රට ගැන කියන ලස්සන ෆිල්ම් එකක් කියලා. මට පිටපතත් දුන්නා. ඒ පිටපත බලද්දී මට ආසාවක් ඇති වුණා. ඊට පස්සේ මම මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ කේ.එස්. චමන්ත් රාජ්ව මුණගැහුණා. චමන්ත් රාජ් ලංකාවට එන යන දමිළ අධ්‍යක්ෂකවරයෙක්. මම රූපවාහිනි වැඩසටහනකම කළ කතාවක් දැකලා තමයි ඔහු මාව මේකට තෝරාගෙන තිබුණේ. ඉතින් ඒ අනුව තමයි චමන්ත් රාජ් මාව උදුම්බරා චිත්‍රපටයේ ක්‍රීඩා උපදේශිකාවගේ චරිතය තුළින් සිනමාවට හඳුන්වලා දුන්නේ. මේක සිරස මාධ්‍ය ජාලයෙන් කරන ෆිල්ම් එකක්. රට ගැන කියවන ෆිල්ම් එකක් නිසා හරිම කැමැත්තෙන් මේකට සම්බන්ධ වුණා.

දෙවෙනි ඉනිම නාට්‍යයෙන් ශනුද්‍රි ඉවත් වෙන්න යනවා කියන්නේ.. ඇත්තද?

මේ දවස්වල නම් මම දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ඉන්නවා. ඉස්සරහට බලමු නේද මොනවද වෙන්නේ කියලා. තවත් අලුත්ම නාට්‍යයකට කාලය ලබා දුන්නේදෙවෙනි ඉනිමෙන් නිදහස් වුණ නිසා නෙමෙයිද? මම මීට කලිනුත් තව නාට්‍යවලට සම්බන්ධ වුණා. දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයෙන් ඉවත් වුණ නිසා හෝ ඉවත් වුණේ නැති නිසා අලුත් නාට්‍යයක් කරන්න භාර ගත්තා නෙමෙයි. මට මේ නාට්‍ය කරන්න පුළුවන්කම තියෙනවා සහ මට ඒ නාට්‍ය සහ චරිතය ගැළපෙනවා කියලා හිතුණා. ඒ වගේම මට ඒ නාට්‍ය වෙනුවෙන් කාලය කළමනාකරණය කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඒකයි තවත් අලුත් වැඩක් භාරගත්තේ.
ශනුද්‍රි ගැළපෙන දේවල් තීරණය කරන්නේ මොන නිර්ණායක එක්කද? මගේ වයසත් එක්ක සුදුසු චරිත මම භාරගන්නවා. ලැබෙන චරිතය ඇතුළේ දෙයක් කරන්න තියෙනවද බලලා ඒක මට සුදුසුද කියලා අම්මගෙනුයි තාත්තාගෙනුයි අහලා තමයි චරිතය භාරගන්නේ.
එතකොට ශනුද්‍රි තනි තීරණ ගන්නෙම නැද්ද? නැහැ. මම තාම තනි තීරණ අරගෙන නැහැ. ගන්න තීරණය අම්මගෙනුයි තාත්තාගෙනුයි අහලා තමයි ගන්නේ.
අම්මයි තාත්තයි අකැමැති නිසා ශනුද්‍රි කැමැති දේවල් අතහැරලා තියෙනවද?තාම එහෙම මුකුත් අතහැරලා නෑ. එයාලා මම කැමැති දේවල්වලට ඉඩ දෙනවා. වැරැද්දක් කරන්න එයාලා ඉඩ දෙන්නේ නැහැ.
ශනුද්‍රි අක්කා වගේ වැඩ ගොඩක පේන්න නැත්තේ? අක්කි වෘත්තිය හැටියට තමයි රංගනය කරන්නේ. මම අධ්‍යාපන කටයුතුත් එක්ක තමයි රංගන කටයුතු කරන්නේ. මට කොහොමත් අක්කි වගේ වැඩ ගොඩක් කරන්නවත් ගොඩක් රඟපාන්නවත් ආස නැහැ.
ඒ කියන්නේ ශනුද්‍රි රංගනය වෘත්තිය විදියට තෝරාගන්න එකක් නැද්ද? සමහර විට රංගනය වෘත්තිය කරගන්න එකක් නැහැ. ඒත් ඉදිරියේදී කොහොම වෙයිද දන්නේ නැහැ.
ශනුද්‍රිද දිනක්ෂිද වැඩිය ජනප්‍රිය? අක්කි තමයි මට කලින් රඟපාන්න ආවේ. එයා මට වඩා ජනප්‍රියයි.
හැබැයි දිනක්ෂි කියන්නේ ශනුද්‍රි තමයි වැඩිය ජනප්‍රිය කියලා. එක කාලයක් දෙවෙනි ඉනිමේ කණ්ඩායම ජනප්‍රිය වුණානේ. ඒ නිසා වෙන්න ඇති අක්කි එහෙම කියන්නේ. ඒත් ඇත්තටම අක්කි මට වඩා ජනප්‍රියයි.
ජනප්‍රිය වෙන්න ශනුද්‍රිට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒත් ජනප්‍රිය දෙයින් ගැලවෙන්න උත්සාහ කරන්නේ ඇයි? මම ජනප්‍රියත්වය පස්සේ යන්නේ නෑ. සම්මාන පිටුපස්සේ යන්නෙත් නෑ. මේ වසරේ මුල මට ජනප්‍රිය සම්මානයක් ලැබුණා. මට ඒ ඇති. මට වැඩක් ලැබුණොත් ඒ දේ උපරිමව කරන්න තමයි මහන්සි වෙන්නේ.
ශනුද්‍රිගේ ගායන හැකියාවෙන් අලුත් නිර්මාණයක් කරන්නේ නැද්ද? අලුත් ගීත දෙකක් කරලා තියෙනවා. ඒ මනුරංග අයියා සහ පසන් ලියනගේ අයියා එක්ක. ඒ නිර්මාණවල වැඩ වෙනුවෙනුත් කාලය වෙන් කරන්න ඕන. ඉදිරියේදී ඒ නිර්මාණ රසිකයන් අතරට ගේන්න පුළුවන් වෙයි.
අලුත් සිනමා නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද? නැහැ. තාම ඉතින් මම ආවා විතරයිනේ. මම වැඩිපුර කාලය වෙන් කරන්නේ අධ්‍යාපන කටයුතුවලට. අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දීලා අනෙක් දේවල් හිමිහිට කරගෙන යනවා. තව මට කල් තියෙනවනේ.
තිළිණි කෞශල්‍යා විජේසිංහ

මම කලාකාරයෙක් නෙමෙයි. මම යූ ටියුබර් කෙනෙක් - අනුෂ්ක

සමාජජාල වෙබ් අඩවි තුළින් මතුවූ, එහෙම නැත්නම් 'යූ ටියුබ්' (You tube) තුළින් ජනප්‍රිය ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක හිත් දිනාගත් චරිත සොයාගෙන යන ගමනේ දි

අපිට මෙවර මුණ ගැසුණේ අපූරු තරුණයෙක්. අනුෂ්ක උදාන ලියනගේ. හැබැයි ඒ නමට වඩා ‘වස්ති‘ කිව්වොත් නොදන්න කෙනෙක් නැහැ. ‘සම්ප්‍රදාය අතික්‍රමණය‘ කළ වස්තිට අපි කතා කළා. මේ දිනවල කාර්ය බහුල වුණත් අපි එක්ක දුරකතනයෙන් කතා කරන්න ඉඩ වෙන්කරලා දුන්නේ ඉතා නිහතමානීව. ඒ කතා කළ පුංචි වේලාව තුළ වුණත් ඉතා ළෙන්ගතුකමින් කතා කළ අනුෂ්ක උදාන ලියනගේ ‘වස්ති‘ රසඳුනට අපූරු කතා ගොඩක් කිව්වා. එලෙස ඔහු සමඟ කළ කතාබහයි මේ.
රසිකයෝ ඔබව හඳුනන්නේ අනුෂ්ක උදාන ලියනගේ කිව්වොත්ද?, නැත්නම් ‘වස්ති‘ කිව්වොත්ද ? අනුෂ්ක උදාන ලියනගේ කියන්නේ මගේ උප්පැන්නේ තියෙන නම. ඒ නමේ ඉස්සරහෙන් පස්සෙන් කිසි වෙනත් නමක් නැහැ තියෙන්නේ අනුෂ්ක උදාන ලියනගේ කියල විතරයි. නමුත් අද සමාජජාල වෙබ් අඩවි එහෙම නැත්නම් යූ ටියුබ් බලන අය දන්නේ ‘වස්ති‘ කිව්වම. එය මගේ බ්‍රෑන්ඩ් නේම් එකයි.
වස්ති පෞද්ගලික විස්තර කියන්න අකැමැති නැහැ නේ? අපෝ නැහැ. මට හංගන්න කිසි දෙයක් නැහැ. මම පාසල් ගියේ වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලයට. පොඩි කාලේ ඉඳන් සංගීතයට පුදුම පිස්සුවක් තිබුණේ. හැබැයි මට සංගීතය දැනෙන්න ගත්තේ අට වසරේදී, නවය වසරේදී විතර. ඒ වුණාට පාසලේ සෞන්දර්ය විෂයට කළේ නාට්‍ය හා රංග කලාව. උසස් පෙළට කළේ ගණිතය විෂයන්. හැබැයි විභාගය අසමත්.
වස්ති සංගීතයට ආසයි, සෞන්දර්යට හදාරන්නේ නාට්‍ය හා රංග කලාව, උසස් පෙළට කරන්නේ ගණිතය. ඒ කියන්නේ පටන් ගත්ත තැනම එකිනෙකට නොගැළපෙන මොකක් හරි අවුලක් තියෙනව නේද? ඇත්ත. මම පුංචි කාලේ ඉඳලා කළේ එකිනෙකට වෙනස් දේවල්. ඒ මගේ හැටි. අපේ පාසලේ සතියකට සැරයක් සාහිත්‍ය සමිතිය තිබෙනවා. එක සතියක සින්දුවක් කිව්වොත්, අනිත් සතියේ නාට්‍යයක් කරනවා. එහෙම වුණේ මම ඉදිරිපත්වීම්වලට බය නැති නිසා. සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගනිද්දී උසස් පෙළ කලා උලළෙට මගේ යාළුවොත් එකතු කරගෙන නාට්‍යයක් කළා. මේ වෙන කොට මගේ තේමා පාඨයත් ‘සම්ප්‍රදාය අතික්‍රමණය‘ ඒ කියන්නේ පුංචි කාලේ ඉඳන් ඒ දේ මගේ ඇගේ තිබෙන්න ඇති. ඒකයි එහෙම වෙන්න ඇත්තේ.
ඔබ යූ ටියුබ් එකට යොමු වෙන්නේ කොහොමද? මට ගිටාර් ගහන්න පුළුවන්. ඉතින් යාළුවන්ගේ පාටිවලදි මම ගිටාර් වාදනය කරමින් සින්දු කියනවා. හැබැයි සල්ලිවලට නෙවෙයි. ඔහොම යද්දි දවසක් මගේ මිත්‍රයෙක් කිව්වා සින්දුවක් කරලා චැනල්වලට දෙමු කියලා. ඉතින් මම සින්දුවක් කරලා චැනල්වලට ගියා. ඒත් ගිය වැඩේ කෙරුණේ නැහැ. අපේ රටේ එක්තරා ප්‍රසිද්ධ චැනල් එකකින් එය ප්‍රචාරය කරන්න ලක්ෂ තුනහමාරක් ඉල්ලුවා. ඒ කියන්නේ සල්ලි දීල තමයි අපි එය ප්‍රචාරය කරවගන්න ඕනේ. එදා තමයි මම තීරණයකට ආවේ මම මගේම දෙයක් කොහොම හරි කරනවා කියලා.
ඒ කියන්නේ ඔබ ඒ අභියෝගයට අභියෝග කළා? මම ඒ කාලේ ප්‍රසිද්ධ සින්දු කිහිපයක කොටස් එකතු කරලා අමුතු ‘ජෝගියක්‘ හදා ෆේස් බුක් එකට දැම්මා. සතියක් යද්දි ලක්ෂ 05ක් නරඹලා. මම හිතුවේ නැති විදියට වැඩේ පත්තු වුණා. ඉන් පස්සේ මට යූ ටියුබ් එක ගැන දැන ගන්න ලැබුණා. යූ ටියුබ් චැනල් එකක් හදමු කියලා යාළුවෝ යෝජනා කළා. ඒ සඳහා නමක් දාද්දි අමර, සමන් වගේ නම් දාල හරියන්නේ නැති නිසා ‘වස්ති‘ කියන නම දැම්මා. අද වෙනකොට වස්ති නමින් මට ආයතනයක් පවා තිබෙනවා. මගේ ආයතනයේ වැටුපට වැඩ කරන පිරිසකුත් මේ වෙන කොට මට ඉන්නවා. මම කලාකාරයකුට වඩා යූ ටියුබර් කෙනෙක් කියල හඳුන්වනව නම් මම ගොඩක් කැමැතියි.
අද කාලේ ප්‍රහසන කරන ගොඩක් අය එක්කෝ කුණුහරුප, නැත්නම් ඩබල් මීනින් එන දේවල් කියල තමයි මිනිස්සු හිනස්සන්නේ කියලා චෝදනාවක් තිබෙනවා. වස්තිටත් ඒ චෝදනාව එල්ල වෙනවා නේද? සමාජජාල බෙව් අඩවිවල ඉන්නේ ඊට ගැළපෙන අය. එහෙම නැති අය ආවම තමයි ඔය වගේ විකාර දේවල් කියන්නේ. අනික අපි මේ දේවල් බලෙන් පෙන්වන්නේ නැහැ. මිනිස්සු මේවා බලන්නේ තමන්ගේ දත්ත (Data) කපාගෙන. ඒ ඒදේවල්වලට තිබෙන කැමැත්ත නිසා. අකැමැති එක්කෙනෙක් දෙන්නෙක් බැලුවොත් තමයි ඔහොම කියන්නේ. කතාවක් තියෙනවනේ රෝමේ ගියොත් රෝමානුවෙක් වගේ ඉන්න ඕනේ කියලා. කවුරු මොනව කිව්වත් බහුතරයක් මිනිස්සු ඉල්ලන දේ තමයි අපි කරන්නේ. අද සමහර චැනල්වලට ආයතනවලට තිබෙනවා යූ ටියුබ් චැනල්. ඒවයි මොනවද තියෙන්නේ. ඒ අය යැපෙන්නේ මොන වගේ දේවල්වලින්ද බලන්න. එක්කෝ කෑම හදන එකක්, මනාලියන්ට අන්දන එකක්, වෛද්‍ය වැඩසටහනක්. ඒ එකක්වත් ඒ අයගේ නෙවෙයි. එහෙම දාලත් කීයෙන් කී දෙනාද බලන්නේ. මම කරන්නේ විනෝදාස්වාදය දෙන ඒව විතරයි. එක් දෙයක් කියන්නම්. මම අම්මා කියලා වීඩීයෝ එකක් දැම්මා. ඒක නරඹපු සංඛ්‍යාව අඩුයි. ඊට පස්සේ වෙන එකක් දැම්මා. ඒක ලක්ෂ ගණනක් බැලුවා. හරි විදියට නම් අම්මා කියල දාපු වීඩීයෝ එක නරඹන සංඛ්‍යාව වැඩි වෙන්න ඕන. ඒ වුණාට ඒ දේ නෙවෙයි වුණේ. ඒකෙන්ම තේරෙනව නේ අපේ රටේ මිනිස්සු ඉල්ලන්නේ මොනවද කියන එක.
මේ වෙනකොට වීඩියෝ කොපමණ යූ ටියුබ්වලට දාල තිබෙනවද? හතළිහක් දාල තිබෙනවා. එකිනෙකට වෙනස් දේවල් දාල තිබෙන්නේ. ඒ හැම එකටම හොඳ ප්‍රතිචාර තිබෙනවා.
කුමන වයස් ප්‍රමාණවල අයද වස්ති නරඹන්නේ? වයස අවුරුදු 18 ත් 30 ත් වයසවල අය බලනවා වැඩියි. හැබැයි ඒ අය විතරක් නෙවෙයි අවුරුදු 12 වැඩි සියලු දෙනා ඒ කියන්නේ ගැහැනු, පිරිමි හැම කෙනොම බලනවා. මම කතෝලිකයෙක් වුණාට සර්ව ආගම් අනුවයි වැඩ කරන්නේ. ඒ නිසා ජාතික ආගම්, කුලමල භේදයකින් තොරව හැම කෙනාම මගේ වීඩියෝ බලනවා.
වස්තිගේ ගතිගුණමද අනුෂ්කට තියෙන්නෙත්? වස්ති දිහා බලලා අනුෂ්ක ගැන හිතන්න එපා. මම ඇසුරු කරපු නැති අය ඕන තරම් කතා කියාවි. විවිධ දේ කියාවි. පිටතින් ඉඳන් කවුරු මොන චරිත සහතිකය දුන්නත් මට වැඩක් නැහැ. හැබැයි මම ඇසුරු කරපු අය දන්නවා අනුෂ්ක කියන්නේ කවුද කියලා. මමත් අනිත් කොල්ලෝ වගේ පොළොවේ පය ගහලා ඇවිදින කොල්ලෙක්. එහෙම නැතුව ඇඳගත්ත චරිතයක් නෙවෙයි.
මුලින් සින්දුවක් අරන් ගියාම ගණන් නොගත්ත අයගේ අද වෙන කොට ප්‍රතිචාර කොහොමද? ඇත්තම කියනව නම් අද ගොඩක් අය මගේ පස්සෙන් එනවා. මගේ නිර්මාණ ඉල්ලනවා. විවිධ වැඩසටහන් කරන්න එන්න කියලා ආරාධනා කරනවා. එදා තඹ සතයක් නොදුන්න අය ලක්ෂ ගණන් දෙන්න එනවා. මම ගැන දාගන්න දවස් ගණන් මාධ්‍ය පස්සේ ගියා. ඒ ගිහිල්ලත් දාගන්න බැරි වුණා. අද ඒ අය කතා කරලා ප්‍රචාරය දෙනවා. මම දෙවියන්ගෙන් ඉල්ලුවේ මට යම් දෙයක් සමාජගත කරන්න ඉඩක් දෙන්න කියලා. අද ඒ දේ ලැබිලා තිබෙනවා. ඒ දේ පවත්වාගෙන යෑම තිබෙන්නෙත් මගේ අතේමයි. මම එය තේරුම් ගෙනයි වැඩ කරන්නේ.

ඉන්දීය දමිළ නළු විජේ තමිල්නාඩු මහමැතිවරණයට

දකුණු ඉන්දියානු නළු විජේ දේශපාලනයට එක්වන බවට ඉන්දිය ජනමාධ්‍ය මේ වනවිට තොරතුරු අනාවරණය කර තිබේ. පසුගියදා පැවැති උත්සව අවස්ථාවකදී ඔහු

මේ බව ප්‍රකාශ කර ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ ඉදිරියේදී තමිල්නාඩු මහමැතිවරණය සදහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට අපෙක්ෂා කරන බවයි. මේ පිළිබද දකුණු ඉන්දියාව පුරා කතාබහක් ඇතිව තිබෙන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. ඉදිරියේදී දේශපාලනඥයෙකු ලෙස විජේව දැක ගැනීමට හැකියාව ඇතැයි බොහෝ දෙනාගේ මතය වී තිබේ.